හීනයක් සොයා – පළමු දිගහැරුම

හීනයක් සොයා… ( පළමු දිගහැරුම )

තද අළුපාට අඳුර මැදින් යන්තමින් මීදුම් පටල එහා මෙහා පාවුණා. හීනි හිරිකඩක් හෙමින් බේරා වැටුණා. පාර ලිස්සන සුළුයි. වාහන වලින් වෑස්සෙන විදුලි  ආලෝකයෙන් පාරේ කළු පාට තාර දිළිසුණා. තවම වෙලාව පාන්දර හතරයි. අපේ ගමන ආරම්භ වුණා විතරයි. මගේ ගමන් සගයින් කිසිවෙක් නින්ද අහලකටවත් ගෙන්වාගෙන නැහැ. මමත් ඒ වගේමයි.
අපිට තිබුණේ අලුත් බලාපොරොත්තු. ජීවිතයේ කිසි දිනෙක අත් නොවිඳි අපූරු අත්දැකීම් විඳගැනීමේ ආශාවන්. කෙනෙකුට කලාතුරකින් ලැබෙන පුදුමාකාර අවස්ථාවකට මුහුණදීමේ සතුට. ඒ සියල්ල සමඟින් අපේ වාහනේ හිරිකඩ කපාගෙන හයිලෙවල් පාර ඔස්සේ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ඉදිරියට ඇදීගියා.

‘‘අපි හත වෙනකොටවත් එතෙන්ට යන්න බලමු. උදේම ගිය තරමට අපේ වැඩ ලේසි වෙයි.’’

නිශාන්ත, ඉන්දික, සම්පත් සහ ප්‍රභාතිගේ දැහැන් බිඳ දමමින් මම කීවා.

‘‘වැස්ස ඒ පැත්තටත් අල්ලයි වගේ. එහෙම වුණොත් ටිකක් අමාරු වෙයි.’’ සම්පත්ගේ අනුමානය හරි යැයි මගේ හිත ඇතුළෙනුත් ඒ වන විට සංඥාවක්  ලැබී තිබුණා.

‘‘අපි වේලාසනින් වැඩ පටන් ගත්තොත් වැස්ස එක්ක පොර අල්ලන එක මහ දෙයක් නෙවෙයි.’’ කැමරා ශිල්පී නිශාන්ත ගේ අදහස වුණා. 

මේ වැඩේ දැවැන්ත කෙළිකාරයා ඔහු. කැමරාවක් සමග දෝනාවක් තුළ නිදහස් නොවන ස්ථානයක හරඹ කිරීම ලේසි නෑ. අනික දවස් දෙකක්.

ජීවිතේ කොයි දේත් ලේසි නෑ. බෝගල පතලට බහින්නට මම දැකපු හීනය. කොයි තරම් කාලයක්ද?

යටගියාව සිහිපත් වුණා.

 ඒ මීට අවුරුදු දෙක තුනකට කලින් සිදුවූ සිදුවීමක්. මම අන්තර්ජාලයේ සැරිසරනවා. හොයාගෙන යනවා. හොයාගෙන යනවා. හොයාගෙන හැම අතම සැරිසරනවා. විසිතුරු මිහිලිය. පුදුමාකාරයි. ලස්සනයි. අලුත් ලෝකයක්දෝ සිතෙයි.

බෝගල පතල ගැන අන්තර් ජාලයෙන් මුලින්ම මම තොරතුරු හොයා ගත්තාට පසු ඒ පිළිබඳ කතා බහ කළේ රොබට් රණසිංහ සමඟයි. රණසිංහ මගේ කාර්යාලයේ මිතුරු රියදුරෙක්.

‘’බලන්න යන්න නියම තැනක් තියෙනවා.’’ මම කිව්වා.

‘’කොහෙද ?’’රණසිංහ අහුවා.

‘’කොටියාකුඹුරේ. බෝගල පතල. ලෝකේ වැඩිම වටිනාකමක් ඇති මිනිරන්.’’

‘’මම අහලා තියෙනවා.’’  රණසිංහගේ පැහැදිළි හඞ.

‘’මේ බලන්න.’’ මම රණසිංහට පරිගණකයේ මුහුණත යොමු කළා. ඔහු ඊට එබුණා.

‘’මට පින්තූර ටිකක් ගන්න නම් නියම තැන. මේ වගේ තැනක් නම් ලේසියෙන් බලන්න යන්න ලැබෙන්නේ නෑ. ගමන හරි ගියොත් අනිවාර්යයෙන්ම මටත් කියන්න. මගේ කැමරාවත් අරන් මමත් එනවා.’’

බෝගල පතලට යම් දිනෙක බහින්නට මට අවස්ථාවක් ලැබුණොත් රණසිංහවත් ගමනට එක්කර ගැනීමට මම එදා ඔහුට පොරොන්දු වුණා.. ඒ පොරොන්දුව යථාර්ථයක් බවට පත් කරමින් මේ ගමනට ඔහු සම්බන්ධකර ගත්තා පමණක් නොව ඔහු අද මගේ රථාචාරියා බවටත් පත්වුණා..

අපේ වාහනේ ටිකෙන් ටික කොළඹ  කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදී පිටිසර ගම්මාන පසු කරන්නට වුණා. තෙත බරියන් වුණු කොළපාට ගස් කොළං. පදමට තාර දැමූ  දෙපස මාන ගස් වලින් වැසී ගත් දිළිසෙන පටු මාවත් ට්‍රැක්ටර් වල නැගී රබර් වතු කරා යන ගැහැණුන් හා මිනිසුන්. අතරින් පතර හමුවන කුඩා කුඩා පෙට්ටි කඩ. 

මගේ සහයක සම්පත් සහ නිෂ්පදක ඉන්දික සමග බෝගල පතල පිළිබඳ සොයා ගත් තොරතුරු අඩංගු ලිපි ලේඛණ නැවත පිරික්සා බැලුවා. 

වෙලාව හතයි දහයයි. උස් කන්දක්. කන්දට පිවිසුම් මාර්ගයේ දැවැන්ත ගේට්ටුවක්. ගේට්ටු පලු දෙකේ විශාල  අකුරින් බෝගල පතල නාම පුවරුව.  ගේට්ටුව විවර වීමත් සමග අපේ වාහනේ හෙමි හෙමින් ඉහළ කන්ද නගින්න වුණා. 

හිතූ පරිදිම චුරු චුරු වැස්ස. අඩුවෙනවා වැඩි වෙනවා. වාහනේ, ඉදිරියෙන් වූ කාර්යාලය ආසන්නයේ නැවැත්වීමත් සමග අවටින් ආ හීන්වැස්සත් සමඟින් එන සුළං රැළි   ඇඟේ දැවටුණා.  අතපය දිගහැරලා වාහනයෙන් එළියට පැන්නා. ගතට  වගේම හිතටත් තෙතමනයක් දැනුණා.

 ‘‘අපි තේ එකක් බොන ගමන්ම කතා කරමු.’’ හිරි පොද කපාගෙන අපිව හොයාගෙන ආ වරුණ හිනා මූණෙන් කීවා. 

වරුණ අපිව වැස්සේ තෙමමින් කැඳවාගෙන ගියේ රැස්වීම් ශාලාව වෙතයි.

මගේ සහායක සම්පත් මුල සිටම අපේ ගමනේ සියලු සම්බන්ධීකරණ කටයුතු ඉටු කළේ බෝගල පතලේ වෙළඳ කළමනාකරු වරුණ ඉලුක්පිටිය සමඟයි. මෙවැනි ස්ථානයක රූගත කිරීම සඳහා අවසර ලබා ගැනීමේදී සිදුවන දහසක් ප්‍රශ්නවලට මුහුණදීමට හා වධ වේදනා විඳින්නට අපට සිදනොවූයේ වරුණට පිං සිදුවන්නටයි.

අප එහි යනවිටත් බෝගල පතලේ තවත් ක්‍රියාකාරී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක්ම අසුන්ගෙන සිටියා. කැණීම් ඉංජිනේරු කමල් ඒකනායක, ගාමිණී කුඹුරහේන, ආරක්ෂක කළමනාකරු සාලිය ගුණසේකර ඇතුළු පිරිස ඒ අතර වුණා.

සියයට අනූනවයක කාබන් ප්‍රතිශතයක් සහිත ලෝකයේ හොඳම මිනිරන් වශයෙන් සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ මිනිරන්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මිනිරන් පතල් දෙකක් පිහිටා තිබෙනවා. එකක් කහටගහ පතල. අනෙක බෝගල පතල. බෝගල පතල තෙත් කලාපයේ පිහිටි එකක්. කහටගහ පතල ඇත්තේ වියළි කලාපයේයි.

ඉංග්‍රීසි වාර්තා අනුව 1865 දී බෝගල පතල් දෙකක් තිබී ඇති අතර 1900 දී එය පතල් තුනක් බවට පත්වී තිබෙනවා. කළින් එය අයිතිව තිබී ඇත්තේ රජයටයි. පසුව පෞද්ගලික අයිතිය යටතට පත්වුණා. ඒ අනුව බෝගල ග්‍රැෆයිට් සමාගම බවට පත්වුණා. එහි අයිතියෙන් සියයට අනූවයි දශම තුනයි තුනක අයිතිය ඇත්තේ ජර්මනියේ ග්‍රැෆයිට් ක්‍රොප්මුල් සමාගමටයි.

කතා බහ අතර මැද අපේ අවධානය බිඳ වැටුණේ අමිල ජයසිංහගේ ආගමනය නිසයි.

අමිල ජයසිංහ බෝගල පතලේ කළමණාකාර අධ්‍යක්ෂවරයායි. බොහොම සරල වැඩි කළබලයක් නැති ඔහු ප්‍රියමනාප කෙනෙක්.

‘‘කාන්තාවක් මේ වගේ රූපවාහිනී වැඩසටහනකට බෝගලට ආව පළවෙනි අවස්ථාව මේ. මම හිතනවා ඔයාට මේ වැඩේ හොඳින් කරගන්න පුළුවන් වෙයි කියලා.’’ අමිල මං ගැන ලොකු විශ්වාසයකින් කතා කළ බවක් හැඟුණා.

 අපි බොහෝ තොරතුරු කතා බහ කළා. අවුරුදු ගානක මිතුරු සමාගමක් තිබුණා වගේ අපි හිතවත් වුණා.

 ‘’අපි ඔයාගේ වැඩවලට සාලියව දෙනවා. එයා තමයි මේ පතලේ අක්මුල් හැම එකක්ම හොඳින්ම දන්න කෙනා. පතලේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු වගකීම් දරන්නේ සාලිය. ඔයාගේ මුළු ගමන පුරාම ඔයා එක්ක එයා ඉන්නවා.’’ ආ ගිය තොරතුරු කතා බහ කිරීමෙන් පසු අපේ ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් බෝගල පතලේ ආරක්ෂක කළමනාකරු සාලිය වෙත මමත් මගේ කණ්ඩායමත් බාර කලේ අමිල විසින්.

‘’මේ වැඩේ සාර්ථකව කරගන්න උපරිම සහයෝගය මම දෙනවා. ඒ වගේම අපි හොඳ මිත්‍රයන් වෙයි කියලත් හිතනවා.’’ සාලියගේ දැඩි මිත්‍රත්වය මුසු ඒ වචන මාව දුර ගමනකට ඈදා ගන්න මුලපිරුවා. 

ප්‍රනීත කෙටිආහාර වේලකින් සහ තේ කෝප්පයකින් සප්පායම් වුණු අපි ඊලඟ අදියරට සූදානම් වුණා.

බලාපොරොත්තු වන්න.

විඩා නිවා මිහිමත සැරිසැරුවෙමි….

2 thoughts on “හීනයක් සොයා – පළමු දිගහැරුම

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.