පුංචි කාලේ මං…5

පුංචි කාලේ මං…5

ටක… ටක…ටක…ටක..

ඈත ඉඳන් ඇහෙන ඒ සද්දේ මගේ කණට හරිම හුරුයි. ටක…ටක..ටක..ටක… පහුගිය දවසක ඒ සද්දේ ආයෙම මට ඇහුණා. වටපිට බැලුවා. ආයෙම සද්දේ ආවා. වටපිට බලද්දී මං දැක්කා මගේ පුංචි කාලේ දැකපු ,මට පුංචි කාලේ ඇහුණ ,මං පුංචි කාලේ විඳපු ටක ටක ටක කරත්ත ගොන්නක්.

ගම්පහ ඉඳන් ගනේමුල්ල පාරේ එන අතර මඟදී මං ඒ ටක..ටක..ටක… කරත්ත දැක්කේ. ඉස්සර තරම්ම නොවුණත් මීට කළින් කිහිප වතාවක් මම ඒ කරත්ත තැන් කීපෙකදි දැක්කා. ඒත් මට ඒ දිහා බලන්න හයියක් තිබුණේ නෑ. ඒත් අද කරත්ත දැකපු ගමන් මං මගේ සැමියට කිව්වා මට අර කරත්තයක් ආපහු අරන් දෙන්න කියලා. පුංචි කාලේ මගේ ළඟ තිබුණු ඒ කරත්තේ සරසලා හැඩවැඩ කළේ ඔහු. ඒ මගේ නැන්දගේ පුතා.

මගේ ඉල්ලීම ගැන ඔහු පොඩ්ඩක්වත් පුදුමයට පත්වුණේ නෑ.

‘‘හැබැයි ඉස්සර වගේ මේ කරත්තේ පිටිපස්සටත් කැරවෑන් එකක් හදලා දෙන්න කියලා අඬන්න නම් එපා.‘‘ ඔහු කිව්වේ එච්චයි.

පුංචි කාලේ ඉඳන් මං ආසා කළේ පුංචි දේවල් වලට.

ලොකු ලොකු දේවල් ,වැඩි මිල දේවල් අනුන් ළඟ තියෙන දේවල්, අනුන්ට හිමි දේවල් මගේ කර ගන්න මට කවදාවත් ඕන කළේ නෑ. මගේ ලෝකේ හරිම පුංචියි. එදාත් අදත් ඒ නිසාම මට ඕන කළෙත් පුංචි දේවල්. එදත් එහෙමයි අදත් එහෙමයි.

ලැබෙන පුංචි දේවල් මම ආරක්ෂා කළේ ඇහැක් වගේ. පරිස්සම් කළේ ඇහැක් වගේ කොටින්ම මගේ පුංචි ලෝකේ තිබුණු පුංචි දේවල් හැමදෙයක්ම මගේ ජීවිතේ වුණා.

තාත්තා ටක ටක ටක කරත්ත තුනක් අපි තුන්දෙනාට ගෙනැත් දුන්නා. ඒ සීතල දුරුත්තේ දවසක. මං එදා තමයි ඒ කරත්ත දැක්ක මුල්ම දවස. එතකොට මට වයස අවුරුදු දහයක්. ඊට කළින් ඒ කරත්ත දැකලා තිබුණා කියලා මට නිච්චියක් නෑ.

කරත්ත තුන අපි තුන්දෙනාට ගෙනැත්දීලා තාත්තා කිව්වේ ඔයාලට මේකෙන් ඉගෙන ගන්න හුඟාක් දේ තියෙයි කියලා.

කරත්ත තුනේ කාඩ්බෝඩ් වහල පාට තුනකින් හදලා තිබුණා. සැහැල්ලු ලීයකින් කරත්තේ රාමුව හදලා තිබුණා. යකඩ පියන් දෙකකින් රෝද දෙක. ඉස්සරහා ලී රාමුවට පුංචි රබානක්. රබාන හැඩවෙන කුඩා ඉරටු කෑල්ලක්.

මගේ කරත්තේ අරන් මං කෙලින්ම ගියේ වත්ත උඩහ පොල් අඹ ගහ යටට. විශාල පොල් අඹ ගහ යට අපිට හෙවන ගෙන දුන්නා විතරක් නෙවෙයි ගහේ මතුවුණු දැවැන්ත මුල් අපිට වාඩි වෙන්න සුව පහසු ආසන සකසා දුන්නා.

අඹ මුලක් උඩ වාඩි වුණු මං කරත්තේ හැඩ බැලුවා. ඒ අතට මේ අතට උඩ අතට පහළ අතට එහාට කරකවමින් මෙහාට කරකවමින් කරත්තේ පුරා ඇස් යැව්වා. ලොකු නැන්දගේ බාල පුතා අපේ චූටි අයියා කුඹුරු ගෙනියන කරත්තෙත් මේ වගේ කියලා හිතුණා.

‘‘ඔයාලා දැක්කද මගේ අලුත් සෙල්ලම් කරත්තේ‘‘ අඹ ගහේ පැන පැන හිටි ලේන් පැටවුන්ගෙන් මං ඇහුවා

.

ටක…ටක…ටක…. කරත්තේ ඉස්සරහින් ගැටගහලා තිබුණු දිග ලණුවෙන් අල්ලගෙන අඹ ගහ වටේ කරත්තේ ඇඳගෙන ගියා. පුංචි රබානට ඉරටුව යළි යළිත් වැදුණා. ටක..ටක..ටක.. ඒ හඬ හරිම මිහිරියි. හරිම තියුණුයි. හෙමින් යනකොට එක රිද්මයකුත් හයියෙන් යනකොට තවත් රිද්මයකුත් කරත්තෙන් ආවා.

‘‘මේ කරත්තෙට පුංචි ගොන් පැටව් දෙන්නෙක් හිටියා නම් හොඳයි නේද?‘‘ මං ලේන් පැටව්න්ගෙන් ඇහුවා. උන් ඒ මේ අත පැන්නා.

‘‘ම්…ම්… මට හිතෙනවා පිටිපස්සට තව පුංචි පහේ ලී ගේකුත් තිබුණා නම් කියලා. ඔයාලා මොකද කියන්නේ.‘‘ ලේන් පැටව් ටිං ටිං ගෑවා.

කරත්තේ ඇදගෙන අඹගහ වටේ ගියා. තාත්තා ආවා.

‘‘හොඳයි හොඳයි මගේ පොඩි දුව තනියම සෙල්ලම.‘‘

‘‘ඔව් තාත්තේ අක්කටයි මල්ලිටයි බෑ කිව්වා.‘‘

‘‘කමක් නෑ ඔයාට ඉතින් මොන තනියක්ද මේ ඉන්නේ ඔයාගේ යාළුවෝ ටික‘‘ තාත්තා ලේන් පැටව් පෙන්නලා කිව්වා. තාත්තා දන්නවා මං ලේන් පැටව් විතරක් නෙවෙයි ගස් කොළං, සතුන්, ඇළදොළ එක්කත් කතා කරනවා කියලා. මට හිතෙන්නෙම එයාලා මං අහන දේට උත්තර දෙනවා කියලා.

‘‘තාත්තේ මං ඇහුවා මෙයාලගෙන් මේ කරත්තෙට ගොන් පැටව් දෙනෙක් හිටියා නම් හොඳයි නේද කියලා. තව පිටිපස්සට පුංචි ලී ගේකුත්.‘‘

‘‘ඒක හොඳ අදහස. ඔයා දන්නවද ඇත්තටම එහෙම ගෙවල් හදලා ජීවත්වෙන මිනිස්සු ඉන්නවා. අපේ රටේ නෙවෙයි. පිට රටවල. හැබැයි ඒ කරත්ත ඇදගෙන යන්නේ අශ්වයෝ. අශ්වයෝ බැඳපු කරත්තේ පිටිපස්සේ ලස්සන පුංචි ගෙයක්.‘‘

ඒ වෙනකොට තාත්තා ශිෂ්‍යත්ව කිහිපයක් ලැබ අවස්ථා කිහිපයකදී විදෙස් සංචාරයන් වලට සහභාගි වෙලා තිබුණා. ගන්නෝරුවේ කෘෂි පුහුණු මධ්‍යස්ථානය මඟින් කෘෂිකාර්මික පුහුණු වැඩසටහන් සඳහා තාත්තා පිටරට ගිහින් තිබුණා.

‘‘ඉතින් තාත්තා දැක්කද එහෙම ගෙවල්.‘‘

‘‘ඔව්. එහේ අය අපිව එහෙම තැන් බලන්න එක්කන් ගියා.

විශාල ගොවිපලවල් වල තියෙන ඒ අයගේ කුඩා නිවසට අමතරව ජංගම ගෙවල් තිබුණා. ඒ ගෙවල් වල පුංචි කාමරයක් ,පුංචි නිදන් ඇඳන් ,කෑම උයන්න මුළුතැන් ගෙයක් තිබුණා. ලොකු ඉඩකඩක් නෑ. ඒ අය කාලෙන් කාලෙට ඒවා තැනින් තැන අරන් ගියා ඒ අයගේ අවශ්‍යතා අනුව.‘‘තාත්තා ලොකු අඹ මුලක් උඩ වාඩි වෙලා රස කතාවක් දිග ඇරියා.

මං ඇහි පිල්ලන් නොගහ තාත්තගේ කතාවට ඇහුංකන් දුන්නේ තාත්තා කියන එක වචනයක්වත් මගේ කණින් ගිලිහෙයි කියන බයට.

‘‘ඉතින් තාත්තේ අශ්වයන්ට පුළුවන්ද එච්චර ලොකු ගෙයක් ඇදගෙන යන්න.‘‘ මට තිබුණු ලොකුම පැනය තාත්තා ඉදිරියේ දිගඇරියා.

‘‘අපොයි පුළුවන්. ඒ සත්තු හුඟාක් ශක්තිමත් පුතේ. එයාලා ඒ සතුන්ට හරි ආදරෙන් සළකනවා. රැක බලා ගන්නවා. ආරක්ෂා කරනවා. ඉතින් ඒ සතුනුත් මිනිස්සුන්ට හොඳ සේවයක් ලබා දෙනවා.‘‘

ටක..ටක..ටක… මම දැක්කා අපේ ගේත් අශ්වයෝ ඇඳගෙන දුර ගමනක් යනවා. පාර දිගේ ,ලඳු දිගේ , දොළ අයිනේ, හැංකර් කැළේ අපි තැනින් තැනට යනවා. එතනින් අපේ කුඹුරට, අත්තම්මලගේ ගෙදරට ,කොත්මලේ අපේ සුදු නැන්දලාගේ ගෙදර මේ හැම තැනම අපේ පුංචි ගේ ඇඳගෙන අශ්වයෝ ගියා.

ටක…ටක..ටක.. අයෙම මං කරත්තේ ඇදගෙන අඹ ගහ වටේ ගියා. රබානේ සද්දේ මං වගේම තාත්තත් අහගෙන හිටියා. කුරුල්ලෙක් දෙන්නෙක් කිචි බිචි ගෑවා.

‘‘මගේ කරත්තෙටත් චූටි අයියට කියලා ලී ගෙයක් හදවගමු තාත්තේ මේක ඇදගෙන යන්න ලස්සන අශ්වයෙකුත් හදවගමු. අයියට ඒක කරන්න පුළුවන් තාත්තේ. මම තාත්තට ඇවිටිලි කළා. සති අන්තයේ අපේ ගෙදර එන ලොකු නැන්දගේ පුතාට කියලා මගේ කරත්තෙට ලස්සන අශ්වයෙකුයි ,ලී ගේකුයි හදවල දෙන්න තාත්තා පොරොන්දු කරවා ගත්තා.

ඈත ඉර බැහගෙන යමින් තිබුණා. අඳුර වසාගෙන වටපිටාවේ රැහැයියෝ ක්‍රීස්…ක්‍රීස්.. ගාන්න පටන් ගත්තා.

‘‘පුතේ දැන් ගෙදර යමු. සර්පයොත් කැළෑවෙන් එළියට එන වෙලාව.‘‘ තාත්තා කිව්වා යන්තම් මට ඇහුණා. එත් මට හෙළවෙන්නවත් හිතදුන්නේ නෑ. මං කරත්තේ අත් දෙක උඩින් තියාන ඒ දිහා එක එල්ලේ බලන් හිටියා.

‘‘පුතේ අපි ගෙදර යමු තාත්තා ආයෙම කිව්වා.‘‘

‘‘තාත්තේ අපි ගේ විකුණමු.‘‘ මං තාත්තට කිව්වා. තාත්තා මං දිහා බලාන හිටියා.

‘‘ඇයි පුතේ අපේ ගේ හොඳ නැද්ද?‘‘ තාත්තා පුදුමවෙලා අැහුවා.

‘‘නෑ තාත්තේ. අපි තැනින් තැනට යන්න පුළුවන් මේ වගේ කරත්තයක් එක්ක ලී ගෙයක් හදාගමු. කොහොම හරි අශ්වයොත් හොයා ගමු. එතකොට අපිට පුළුවන් කැමති කැමති  තැන් වලට ගිහින් හුඟාක් දේවල් බලලා ටික කාලයක් නැවතිලා ඉඳලා ආපහු එන්න.‘‘ මං කිව්වා.

තාත්තා මං දිහා බලාන හිටියා.

වසන්ති නානායක්කාර

2017/12/05

6 thoughts on “පුංචි කාලේ මං…5

  1. හොඳ කතාවක්. දැන් තිබෙන කැරවෑන් වල මුල් අවධිය .

    Like

  2. ආසාවෙන් කියෙව්වා. මගේ බ්ලොග් එකටත් ඇමිණුවා. ආකර්ෂණීය වෙන්න ෆොටෝ එකක් මුලින්ම දාන එක ගැන හිතල බලන්න. යෝජනාවක් විතරයි. විෂය කිහිපයක් ලියනවා නම් ටැබ් වර්ගීකරණයක් කරන්න

    Like

  3. සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් ලෝකයට….වර්ඩ් ප්‍රෙස් එකේ බ්ලොග් අඩවියක් පවත්වා ගැනීමේ වාසි වගේම අවාසිත් තියෙනවා…සිංහල බ්ලොග් කලාවට අධිපති අටංපහුරෙ අටං තුමාගෙන් ඇහුවනං හරියටම දැන ගන්ඩ පුලුවන්. ටෝකිං බුක්ස් වගේම ඔබතුමියගේ බ්ලොග් අඩවියත් සාර්ථක වේවා!!
    අපේ ගමේ කට්ටිය කියන විදිහට ‘ඕසෙට’ කියවන්නෝ පැමිනෙත්වා!!!

    කට්ටකාඩුවේ ලොකු මල්ලි

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.