පුංචි කාලේ මං…4

පුංචි කාලේ මං…

පිරිමි ගොඩේ මං

මේ කතාව මට මතක නෑ. පොඩ්ඩක්වත් මතක නෑ. අම්මයි මගේ පළමු ගුරුතුමියි තමයි මේ කතාව මට මතක් කළේ. අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ නිතරම මේ කතාව මාත් එක්ක කිව්වා. අකුරක් නෑර මතක් කළා. ඒ විතරක් නෙවෙයි මේ සිදුවීම එක්ක ඈඳුනු කළු සුදු පින්තූර ගණනාවක් අම්මා පරිස්සම් කරලා තියාගෙන ඒවා මට පෙන්වමින් කතාව කියන්න ඇය පුරුදු වෙලා හිටියා. ඒ වගේ මතකයන් සදාකාලිව ඇගේ මතක ගබඩාවේ තැන්පත් වෙලා තියෙවා කියලයි අම්මා නම් කිව්වේ. මට ඉස්සර නම් ඒ ගැන වැඩි වැටහීමක් තිබුණේ නෑ. ඒත් පස්සේ පස්සේ ඒ ගැන හිතන්න ගත්තම මට හිතුණෙත් අම්මා කිව්ව හරි කියලා. මේ මතකයන් සදාකාලිකයි.

ඉස්කෝලේ පළමු වසරට ඉස්සර කිව්වේ බාලාංශය පන්තිය කියලා. මේක සිද්ධ වුණේ මම මුළින්ම ඉස්කෝලේ යන දවසේ. බාලාංශය පන්තියට ඇතුල්කරපු දවසේ.

අපේ ඇඳුම් මැහුවේ අම්මා. කතාතුරකින් දවසක එකක් දෙකක් විතර කඩෙන් අරන් දුන්නා. අම්මට ඕන හැටියට රෙදි ගෙනැල්ලා අම්මට ඕන හැටියට හැඩ වැඩ දාලා තමයි අක්කගෙයි මගෙයි මල්ලිගෙයි අපි තුන්දෙනාගෙම ඇඳුම් මැහුවේ. අපි ආසා වුණෙත් කඩෙන් ගන්න ඇඳුමට වඩා අම්මා මහලා දෙන ඇඳුම් අඳින්න.

ඇඳුම් මහද්දී අම්මා ඉස්සෙල්ලම මැහැව්වේ මල්ලිගේ ඇඳුම්. ඊට පස්සේ අක්කගේ. අන්තිමට මගේ. මම හැම වෙලාවෙම කළේ අපි හැමෝගෙම ඇඳුම් මහන දිහා බලාන හිටි එක. හුඟාක් දවස් වලට මගේ ආසනය වුණේ අම්මගේ මහන මැසිමට අනිත් පැත්තෙන් තියෙන ජනෙල් පඩිය. මම පුංචි කාගේ ඒකට ගොඩ වුණාම කකුල් දෙකේ ඇඟිළි තුඩු විතරයි බිම ගෑවෙන්නේ. ජනේලේ පුංචි මට වඩා උසයි. ඉතින් මම ඔය ජනෙල් කණ්ඩිය උඩ ඉඳන් අම්මා මැසිම පාගන කොට මමත් කකුල් දෙකෙන් අම්මගේ කකුල් ළඟින්ම තියාන මැසිම පාගනවා. ඒක රිද්මයට එහාට මෙහාට පැද්දෙනවා. මගේ අතින් රිද්මේ වෙනස් වුණු ගමන් මැසිම හිරවෙනවා. එතකොට අම්මගෙන් ටිකක් බැණුම් අහන්න වෙනවා. අයෙම අම්මා ඇඳුම මහනවා. ආයෙත් මම පාගනවා. මට දැනුම් තේරුම් ඇති වැඩිහිටි අවදියේදිත් අම්මා එක්ක මැසිම පාගන වැඩේ මම කළා. ඒ ගැන මගේ මතකයේ බොහෝ රසවත් සිදුවීම් තියෙනවා.

හැබැයි මේ කියන සිද්ධිය ගැන මගේ මතකයේ නැත්තේ මම එතකොට ගොඩාක්ම පුංචි නිසා. අම්මා කිව්වේ බාලාංශය පන්තියට මාව ඉස්ඉස්සෙල්ලම භාරදෙනකොට ඇඳපු ඇඳුම නිසා වුණු අලකලංචියක්.

මම වැඩියෙන්ම ඇන්දේ කොට කළිසමයි, ෂර්ට් එකයි. මම වැඩියෙන්ම ආසා කළේ එහෙම අඳින්න. වැඩියෙන්ම කළේ ගෑණු ළමයි කරන වැඩ නෙමෙයි. පිරිමි ළමයි කරන වැඩ. ගස් නඟින්න, පොලු ගහලා දිවුල් ගස් වල අඹ ගස්වල ගෙඩි කඩන්න, කුඹුරේ වී කුරුල්ලෝ එළවන්න, මේ හැමදේකටම මම හරි රුසියා කියලයි අම්මා කිව්වේ.

මගේ පළවෙනි ඉස්කෝලේ දවස. බාලාංශය පන්තියට භාරදෙන දවස. තාත්තාට තිබුණා ගෝමරන්කඩවල ප්රදදේශයේ විශේෂ ගොවි හමුවක්. මාව ඉස්කෝලෙට භාරදෙන්න ගියේ අම්මා. අම්මා උදේ ලා හිරු එළියේ නැහැවෙමින් මම අම්මත් එක්ක ඉස්කෝලේ ගියේ පයින්. කිලෝමීටර එකහමාරක දුර පයින් යනකොට අම්මා කිව්වේ මගේ කකුල් රිදෙයි කියලා. ඒත් බස් එකක යනවට වඩා මං ආසා කළා වටපිට සිරි නරඹමින් පයින් යන්න.

අතරමඟදී හමුවුණ බොහෝ දෙනා අම්මට කතා කළා.

‘‘අද පොඩි දුව ඉස්කෝලෙට භාරදෙන්න යනවා.‘‘ අම්මා මුණගැහිලා කතා කරන හැමදෙනාටම බොහොම ආඩම්බරෙන් කිව්වා.

‘‘දුව?‘‘ එහෙම කියලා ,හිනාවෙලා හැමදෙනාම මගේ දිහා බැලුවා.

‘‘ඔව්..‘‘. අම්මා උත්තර දුන්නා. අපි දෙන්නා ඉස්කෝලේ ගියා. අපිට වෙන්වුණු විශාල ශාලාවක්. දෙමව්පියෝ එක්ක ආපු ළමයි මහ ගොඩක්. මුළු ශාලාවම විවිධ පාට කොළ වලින් සැරසිලි කරලා හැඩ කරලයි තිබුණේ. අම්මා උදේම හදපු කිරිබත් කළින් දවසේ අත්තම්මා හදලා එවපු කැවිලි පෙවිලි ආනමාළු කෙසෙල් ගෙඩි එක්ක ඔතපු මහ විශාල කැවිලි පාර්සලේ අම්මා ගිහින් තිබ්බේ ලොකු මේසයක් උඩ. ඒ මේසේ පිරෙන්න තව පාර්සල් මහ ගොඩක්.

‘‘මිසිස් නානායක්කාර, එන්න එන්න දරුවව එක්ක එන්න. මේ ලියකිවිලි වල අත්සන් කරන්න තියෙනවා.‘‘උස මහත කරුණාවන්ත ගුරුතුමියක් අම්මට ආරාධනා කළා. මම හිතුවේ ඒ ලොකු ටීචර් කියලා.

‘‘පුතාගේ නම කොහොම ද ඇතුළත් කරලා තියෙන්නේ‘‘ ලොකු ටීචර් ඇහුවා.

‘‘පුතා නෙවෙයි දුව. සාධනා නානායක්කාර.‘‘ අම්මා කිව්වා. ටීචර් කණ්ණාඩි කුට්ටමට යටින් ඇස් කරකවලා බැලුවා. මම බය වුණා.

‘‘අපේ දුව අඳින්නෙම මේ විදිහේ ඇඳුම් වැඩිපුරම. හොඳටම කොණ්ඩෙත් කපන්න කියලයි නිතරම බල කරන්නේ. ගවුමක් අන්ඳන්න සෑහෙන මහන්සි වුණාත් එයා කැමති නෑ.‘‘ අම්මා බොහොම බෑගෑපත් ලීලාවෙන් කිව්වා.

‘‘ආ….. එහෙමද? කමක් නෑ. ඒ ඇඳුමත් මේ දුවට නරකම නෑ. හරි…හරි මේ ලියකියවිලි ටික අපි ඉවරයක් කරමුකෝ.‘‘අම්මා ටීචර් දුන්න ලියකියවිලි වල අවශ්‍ය සියළු දේ ලියලා සටහන් කළා. ටීචර් මොන මොනවදෝ කොළ වගයක් ,ලොකු ෆයිල් එකක් එක්ක අම්මට දුන්නා.

වැඩ කටයුතු හමාර වුණාම අම්මා ඇවිත් ලොකු බුලත් අතක් දීලා ලොකු ටීචර්ටයි හිටපු අනිත් ටීචර්ලටයි වඳින්න කිව්වා. මම හැමෝටම දණගහලා වැන්දා. ළමයි හුඟාක් දෙනෙක් අම්මලා තාත්තලා පිටත් වෙනකොට ලතෝනි දුන්නා. මම ශාලාවේ කෙටි බිත්තිය අයිනේ හිටගෙන අම්මට අතවැනුවා. අලුත් ආරම්භයක් අලුත් ගමනක් බව මට දැනුණා.

‘‘ආ එන්න එන්න ඔය දරුවෝ හැමෝම එන්න. අපි දැන් මේ දරුවන්ට ලස්සන මේස පුටු දාලා පන්ති කාමරයක් හදලා තියෙනවා. අපි එක කණ්ඩායමකට ඔයාලා පස්දෙනා ගණනේ කණ්ඩායම් හයක් හදලා තියෙනවා. එන්න, ඔක්කොමලා එන්න.‘‘ ලොකු ටීචර්ගේ විධානයට අනුව අපි පේළි හැදුනා. මම පේළියට එකතු වෙනකොට ගෑණු ළමයි මාව පෝළිමෙන් එළියට තල්ලු කළා.

‘‘අනේ මට එහෙම කරන්න එපා.‘‘ මං ආයාචනා කළා.

‘‘ඔයා එන්න එපා අපේ පෝළිමට. අර අනිත් පැතිතේ තියෙන්නේ පිරිමි ළමයි පෝලිම. ඒකට යන්න.‘‘ මාව තව තවත් තල්ලු කරමින් පිරිමි ළමයි පෝලිමට ළං කළා.

‘‘ඔය ළමයි මොකද කරන්නේ. කෑගහන්න එපා. කරුණාකරලා පෝළිමට ඉන්න‘‘ ටීචර් වේවැල උරුක්කරමින් කියයි.

‘‘ටීචර්…ටීචර් මේ පිරිමි ළමයි අපේ පෝළිමට ඇවිත්. ‘‘

‘‘ඔව් ටීචර් මේ එක ළමයෙක් අපේ පෝළිමට ඇවිත්. මෙයාට යන්න කිව්වට යන්නේ නෑ.‘‘

‘‘එයාට යන්න කියන්න ටීචර්… ගෑණු ළමෝ උස් හඩින් කෑ ගහයි.

ඔයාලා කෑනොගහ ඉන්න. මං ඒක බලා ගන්නම්.‘‘ ටීචර් කියයි. මං ආරක්ෂාව හොයගෙන ලොකු ටීචර් ළඟට කිට්ටු වුණා.

‘‘කෝ එන්නකෝ පුතේ. ඔයා කළිසමයි ෂර්ට් එකයි ඇඳලා ඉන්න නිසා මම ඔයාගෙන් අහන්නේ. ඔයා කැමති පිරිමි ළමයි ඉන්න කණ්ඩායමේ වාඩිවෙන්නද ගෑණූ ළමයි කණ්ඩායමේ වාඩිවෙන්නද? ‘‘ටිචර් මගේ හිස අතගාමින් ඇහුවා.

‘‘ටීචර් අදට මං පිරිමි ළමයි එක්ක ඉන්නම්. අම්මට කියලා සුදු ගවුමක් මහගත්තු ගමන් අපේ කණ්ඩායමට යන්නම්.‘‘ මම කිව්වා.

‘‘ඔයා කැමති දෙයක් කරන්න පුතේ. මට හිතන්නේ ඔයාට කොයි පුටුවෙත් ඉඳගන්න හයියක් තියෙනවා කියලා.‘‘ ටීචර් කිව්වා.

වසන්ති නානායක්කාර

2017/12/03

One thought on “පුංචි කාලේ මං…4

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.