පුංචි කාලේ මං…3

පුංචි කාලේ මං…

අන්තම්මගේ රජබොජුන්

අත්තම්මගේ ගම රජඇල. කන්තලේ ටවුමේ තියෙන අපේ ගෙදර ඉඳලා හැතැක්ම දෙකක් විතර ගියාම රජඇලට යන්න පුළුවන්. සමහර දවසට අපි රජඇල ගියේ පයින්. නැත්නම් තාත්තගේ යතුරු පැදියෙන් එහෙමත් නැත්නම් තාත්තගේ මයිනර් රථයෙන්. මං වැඩියෙන්ම ආසා වුණේ අත්තම්මා එක්ක පයින් යන්න. අත්තම්මා එක්ක පිටත් වෙනකොට අපේ ගෙදර ඉඳන් ගමනාන්තය තෙක් නැවතී නැවතී යන්නේ. ඒ නිසා පොඩ්ඩක්වත් වෙහෙස දැනෙන්නේ නෑ.

“ගෙදර යන ගමං”

“මේ අපේ පොඩිපුතාගේ දෙවෙනි කෙළී සාධනා. මං පස්සෙමයි වැටිලා ඉන්නේ.”

“වී ටික කොටා ගන්න මෝලට ආවා. ඒ ගමන් පොඩි පුතාගේ ගෙදර ගියා.”

“සති අන්තේ පොඩිවුන්ගෙන් බේරෙන්ඩ නෑ එහෙ එන්ඩ කියලා. දැන් ආපහු ගෙදර යන ගමං. මෙන්න මේ මේ ළමයටත් අපේ ගෙදර යන්ඩ ඕනෑ කියලා ජල්ලි ඇල්ලුවා.”

ඔය විදියට අත්තම්මා හැතැක්ම දෙක පුරාවටම මගතොටදී හිතමිතුරන් මුණගැසී කතා බහේ යෙදෙයි. ඔවුන් සමඟ වචනයක් දෙකක් දොඩයි. හිනාවෙයි. දුක සැප බෙදා ගනියි. මහගෙදරට යනතුරුම විවිධ තාරාතිරමේ අයවලුන් සමඟ පයුරුපාසාන පවත්වයි. සමහර දිනෙක මට හිතෙනවා මෙච්චර යාළුවෝ කන්දරාවක් ගැන අපේ අත්තම්මා ,නම් ගම් ඇතුව මතක තියාගෙන ඉන්නේ කොහොමද කියලා? සමහර අය එක්ක කතා කරනකොට මට හිතෙනවා ඇඳුනුම්කමක් නැතුවත් මුණගැසීමේ ප්‍රීතිය නිසා කතා කරනවා කියලා. කොයි හැටි වෙතත් මූණට මුණගැහෙන හැමකෙනෙකුටම වාගේ අත්තම්මා වචනයක් දෙකක් දොඩයි. ඔවුනුත් මොනවා හෝ ප්‍රශ්නයක් අසයි, උත්තරයක් දෙයි.

මමත් අක්කත් මල්ලිත් අත්තම්මගේ ගෙදර වැඩිපුරම යන්නේ අත්තම්මා අතින් පිසෙන කෑමවේලක රස බලන්නයි.

අත්තම්මා පිසින ජනප්‍රියම කෑම වේලක් වෙයි. ඒ කෑමවේල අපේ අම්මා කොතරම් හොඳින් පරිස්සමින් සැකසූවද අත්තම්මා පිසින කෑම වල රසය ගැනීමට සමත් නොවෙයි.

මඤ්ඤොක්කා කොළ මලවලා .වැව්මාළු උයලා පරිප්පු තෙල් දාලා හින්දලා කැකුළු බත්. අත්තම්මා උයන විශේෂ කෑමවේල තමයි ඒ. මේ කෑම වේල අපේ අම්මා, අපේ ඥාතියෝ , දන්න හඳුනන අය කවුරු හැදුවත් අපේ අත්තම්මා උයන රසය නම් කාටවත් ගන්න බෑ

“කොහොමද අත්තම්මේ එච්චර රසට උයන්නේ.” මම අත්තම්ගෙන් අසයි.

“ඒක පුතේ අත් ගුණේ. මම පුංචි කාලේ ඉඳලා කෑම ඉව්වා. අපේ අම්මා අපිට පුංචි කාලේ ඉඳලා උයන්න ඉගැන්නුවා.”

“ඇයි අත්තම්මා ඉස්කෝලේ ගියේ නැද්ද? උයන්න වෙලාවක් කොයින්ද අපි වගේ ඉස්කෝලේ ගියා නම්.” මම අත්තම්මාගෙන් අසයි.

“මම ගියේ අටේ පන්තියට විතරයි. අපේ තාත්තට අපිට දිගට උගන්නන්න ඕනකමක් තිබ්බේ නෑ. පුතාගේ මුත්තා, ඒ කියන්නේ අපේ තාත්තා කිව්වේ ටැලිග්‍රෑම් එකක් කියවන්න තරම් ඉගෙන ගත්තම ඇති කියලා. “අත්තම්මා සිය අකුරු හැකියාව ගැන කියයි.

හැබැයි අපේ අත්තම්මා ටෙලිග්‍රෑම් කියවිල්ල කෙසේ වෙතත් සිංහල පත්තරේ ඉතා හෙඳින්  කියවන්න දැනගෙන හිටියා.

දන්න කාලේ ඉඳන් උයමනට කැපවී සිටි අත්තම්මා නිකං ඇල්වතුරෙන් යමක් තැම්බුවත් ඒකත් රසවත් බවින් ඉතා ඉහළ බවයි මගේ හැඟීම.

ඕනෑම මොහොතක රජඇල ගෙදරට ගොඩවෙන කාටවුවද බත්වේලකින් බඩපුරවා ගන්නට අත්තම්මා ඇවිටිලි කරයි. ඒ ඇවිටිල්ලෙන් කවුරුන් හෝ බේරෙනවා නම් ඒ කලාතුරකිනි. බඩපුරවා ගෙන ආ අයෙක් නම් ඒ මොහොතේ හැදු අග්ගලා ගෙඩියක් සමඟ කහට කෝප්පයක් ඒ අයට වරදින්නේ නැත.

ඒ කොයි දේ හැදුවත් රසවත්ය. ප්‍රනීතය. නැවත නැවත අත්තම්මාගේ ගෙදරට එන්නට ඒ සංග්‍රහය ප්‍රමාණවත්ය.

බොහෝ දෙනා ඇලුම් කරන අත්තම්මාගේ මඤ්ඤොක්කා මැල්ලුම සුවිශේෂී වන්නේ එය පිසින ආකාරයයි. ලාදළු මඤ්ඤොක්කා කඩාගෙන විත් හොඳින් සෝදා වතුර පෙරෙන්නට තබා පසුව ලොකු ලී වංගෙඩියට දමා ඉතා සිහින් වනසේ කොළ ටික කොටා ගනියි. කොළ කොටනවිට අත්තම්මා කියන්නේ හරිම සංවරශීලී විය යුතුයි කියලා. හදිසි ඇල්ලුවොත් කොළ වලින් බාගයක් බිමට හැළෙයි. අත්තම්මා සීරුවට කොළ කොටයි.

“අනේ අත්තම්මේ මටත් ටිකක් දෙන්නකෝ ” මම අත්තම්මට ඇවිටිලි කරයි. බේරෙන්න බැරි තැන අත්තම්මා මා අතට මෝල් ගස දෙයි. වංගෙඩියේ බාගයකට උස ඇති මට දිග ලී මෝල්ගහ ආම්බාන් නැත. ටික වෙලාවකින් කොළ ටික ටික එළියට විසිවෙයි.

ඔය ඉතින් මයේ පුතාට ඕවා බෑනේ තව පොඩි වැඩියි. කියමින් අත්තම්මා මෝල් ගස මෙගෙන් ඉල්ලා ගනියි. හිතේ ඇතිවන නොරිස්සුමක් සමඟ මෝල් ගහ අත්තම්මාට ලබාදෙන මම වංගෙඩියේ එහා මෙහා යන අත්තම්මාගේ අත දිහා බලා ඉඳියි. පේනවා නේද මං කොටන සීරුව. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ ගොයියෝ අත්තම්මා මට කොළ කොටන රිද්මය කියා දෙයි.

“පිටි කොටන කොටත් එහෙමයි. ඕනම දේකදි එහෙමයි පරිස්සමට කරන්න ඕන. “අත්තම්මා සැකසුරුවමට වැඩක් කරන හැටි කියාදෙයි.

“තව ටිකක් ලොකු වුණාම ඔයාට පුළුවන් හොඳට මෝල් ගහ අල්ල ගන්න. එතකොට මම පුරුදු කරන්නම්කෝ ඔයාට වංගෙඩියේ අහක නොයන්න කොටන්න.” අත්තම්මගේ ජීවිත පාඩම අහන් ඉන්න ආසා හිතෙයි.

“මම අමු මිරිස් ටික වංගෙඩියට දාන්නද? ” මඤ්ඤොක්කා කොළ පිරුණු වංගෙඩියේ ඉතුරු අඩුම කුඩුම පුරවන්න මම අසයි.

“ඉස්සෙල්ලම අමු මිරිස් ටික, ඊලඟට රතුළූණු ගෙඩි ටික අන්තිමට පොල් ටික දාන්න.” අත්තම්මා පියවරෙන් පියවර කියාදෙයි.කොටපු මඤ්ඤොක්කා කොළ හැළියක දමා ලිප තබන අත්තම්මා එය මූඩියකින් නොවසා ලිප ලඟින්ම ඉඳන් රත්වෙන්නට හරියි.

“මඤ්ඤොක්කා විස වෙන්න පුළුවන්. ඒ නිසා වහලා තැම්බෙන්න තියන්නේ නෑ.” කොළ ටික රත්වේගෙන එනකොට අත්තම්මගේ කුස්සිය සුවඳින් පිරෙනවා. ඊට පස්සේ තැම්බීගෙන ආ කොළ ටික තව භාජනයකට ඉවත් කර නැවත හට්ටිය ලිප තබා රත්වෙන්නට හැර රත්වුණු හට්ටියට කපා ගත් රතු ළූණු සහ දෙකට තුනට කඩා ගත් වියලි මිරිස් කරල් කිහිපයක් එක් කරයි. තෙල් රත්වෙන්න රත්වෙන්න මිරිස් කරල් චට පට ගා පුපුරමින් එළියට විසිවෙයි. පසුව මඤ්ඤොක්කා කොළ සියල්ල ඊට එක් කරයි. අත්තම්මගේ මඤ්ඤොක්කා කොළ මැල්ලුමේ සුවඳ ඈත දෙවට දිගේ නිවසට එන ඕනෑම අයෙකුට කිවහැකි තරමේ සුවඳක් විහිඳුවයි.

වැව්මාළු හට්ටියේ සුවඳ සමග මුහුවුණු මඤ්ඤොක්කා මැල්ලු‍මයි පරිප්පු තෙම්පරාදුවයි කැකුළු බතුයි එක්ක අත්තම්ගේ කෑමවේලට අපි හැමකෙනෙක්ම පුදුමාකාර පෙරේතකමක් දැක්වූවා.කොටින්ම අත්තම්මගේ ගෙදර තියෙන හැම විශේෂ උත්සවයකදිම අපේ සියලු තියෙන හැම විශේෂ උත්සවයකදිම අපේ සියලු දෙනාගෙම බැගෑපත් ඉල්ලීම අත්තම්මගේ ඒ රජ බොජුන වෙනුවෙන් වෙන්වුණා.

වසන්ති නානායක්කාර

2017/12/01

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.