පුංචි කාලේ මං……1

පුංචි කාලේ මං….1

ඒ දෙසැම්බරය ආසන්නයේ. නත්තලේ කටුක සීතල ටිකෙන් ටික පැතිරෙමින් තිබුණා. උදේ ලා ඉර එළියේ හෝන්දු මාන්දු ගතියක් ඇරෙන්න කිසිම සජීවී ගුණයක් පෙනෙන්නට තිබුණේ නැහැ. දහවල දැඩි උණුසුමෙන් පිරුණු අතර රාත්‍රිය ගැහෙන සීතල සමඟ ගතට තරමක පීඩාකාරී බවක් ගෙන දුන්නා. ඒ පීඩාකාරී බවෙන් නැගෙන උදා ආලෝකය මගේ ගතට ප්‍රාණයක් ලබා දීමට අසමත් වුණා.

අහැට දකින්න කුරුල්ලෙක් දෙන්නෙක් ,ලේනෙක් ඇරෙන්න කුඩා සතුන් කිසිවෙක් සිය වාසස්ථාන වලින් එළියට නාවේ සීතලේ ආධිපත්‍යයට බිය නිසාවෙන්. කොළ හැළිච්ච ගස් වල දුඹුරු පාට අතු දිගේ සුදු පාටින් තැනින් තැන ලප මතුවී තිබුණා. ඒ උදේට වැටෙන ලා පින්න හේතුවෙන් බවයි අත්තා කිව්වේ.

වට්ටාරං කන්ද ආසන්නයේ වූ අපේ කුඩා නිවස වටවූයේ කැළෑබද ප්‍රදේශයකින්. ඒ නිසාවෙන්ම අවුරුද්ද මුළුල්ලේ යහමින් වැසි වැටුණු අතර දෙසැම්බරයේ සීතලද ඒ වාගේම අඩුවක් නැතිව තිබුණා. උදේ කාලයේ දැනෙන දැඩි සීතලෙන් බේරීමට අපි පුරුදුව සිටියේ වත්ත පහළ ගලායන ඔය දිහා යන්න.

බැලූ බැලූ අත ඉහළට නැග තිබුණේ රූස්ස තේක්ක ගස්. ඒ මැදින් වැටී තිබුණු අඩි පාර දිගේ අපි පහළ ඔයට ගෑටුවා. ඒ අත්තාගේ ගිනිමැළය හොයාගෙන.

“ගියාට කමක් නෑ ඉක්මනින් එන්න. ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා.” අම්මාගේ හඩ මට ඇහුණේ හුඟාක් ඈතින්.

අම්මා බැංකු නිළධාරිණියක්. ඇය සිය සේවාස්ථානයේ දහයකගේ දොළහකගේ විතර සේවය ලබා ගත් තැනැත්තියක්. කලබල චරිතයක් නොවූ ඇය හැමවිටම ප්‍රශ්ණයකට උත්තර සෙවූයේ තරමක් සිතා බලා. අම්මා කිසිදිනෙක අපිට තරවටු කළේ නැහැ. අණ කළේ නැහැ. බියට පත්කළේ නැහැ. කළ යුතු දේ පිළිබඳව පැහැදිළි කළා පමණයි. ඒ නිසාම  මමත් අක්කත් මල්ලිත් පුරුදුව සිටියේ ඇය පැහැදිළි කරන දේ කුමක්ද යන්න සිතා බැලීමයි. ඒ අනුව කටයුතු කිරීමයි. ඇය අපේ ජීවිත වලට ආලෝකය සොයා ගන්නට අපටම ඉඩ දුන් බවකුයි හැමවිටෙකම මට දැනුණේ.

පහළ ඔයට අපි යනකොට අත්තා දැල්වූ ගිනි මැළය හෝස් හෝස් ගාමින් ඇවිළෙයි. ඉහළට එසවෙන ගිනි මැළය අග චට චට ගා පුපුරමින් ගිනි පුළිඟු මතුවෙයි. මුළු වට පිටාවවම විදුලි ආලෝකයක් මවමින් බුර බුරා ගිනි ඇවිළෙයි.

සීත සමයේදී ඔය අද්දරට වෙන්නට ඇති සුදු වැලි තලාවේ කොළ රොඩු එකතු කිරීම අත්තාගේ සිරිතක්.

තේක්ක ගස්, කොස් ගස් ,කෙසෙල් ,ගම්මිරිස් වැල් ,ලාවුළු මැංගුස් එකී මෙකී නොකී සියලු ගස් වල කොළ හැලී යන සමයයි ඒ වියළි සීත සමයේ කොළ රොඩු අතරට රිංගා ගන්නා සර්පයින් ඔයට උඩින් ඇති කැළෑ ඉඩමට පන්නා දැමීමත් එකතුවන කොළ ගොඩවල් නිසා අවලස්සන වන පරිසරය පිරිසිදු කිරීමත් අත්තාගේ කොළ රොඩු පිච්චීමේ ප්‍රධාන අරමුණයි. සීත සමයේ හීගඩු නැංවෙන උදෑසනට හිත ගත උණුසුම් කර ගැනීම ඊළඟ කාරණයයි. අත්තාගේ දෙවැනි අරමුණ මාගේ පළමු අරමුණයි.

අක්කර දෙකක වපසරියක පිහිටි අපේ ඉඩමේ ඉදි වූ කුඩා නිවස හැරුණු කොට සෙසු ඉඩ කඩ සියල්ල වෙන්වූයේ විවිධ වර්ගයේ ගස් කොළං වෙනුවෙන්. මම කුඩාම අවදියේ දුටු රැස්ස ගස් වාගේම අත්තා අළුතින් සිටුවන කුඩාපැළ වලද කිසිදු පිළිවෙලක් මා දුටුවේ නැත. ඒත් වටපිටාව වසාගෙන පැතිරණු වනාන්තරයක් බඳු පරිසරයේ ගුප්ත බවට මගේ හිතේ වූයේ ප්‍රිය බවක්. දැඩි කැමැත්තක්.

ගිනි මැළය ලඟ ඇණතියා ගන්න සූදානම් වෙනකොටම අත්තා ගෙන් ලැබෙන්නේ විධානයකි.

“ඔච්චර ළඟට යන්න එපා. ගිනි රස්නේ එයි. ටිකක් ඈතින් හිටපල්ලා. තුන්දෙනාම කරකුට්ටන් වෙලා යයි ගින්දර අස්සේ ඉඳලා. “අත්තාගේ ඝෝරණාඩුවෙන් අපි තුන්දෙනා ටිකක් ඈතට විසිවෙයි.

අත්තා තව තව වියළි තේක්ක කොළ කොස් කොළ ගිනි මැළයට ලං කරයි. ගිනි මැළය හෝස් හෝස් ගා වැඩි වැඩියෙන් ඇවිළෙයි. දිගු කෝටු කිහිපයක් සහ ඉදලක ආධාරයෙන් වියළි කොළ එකතු කරන අත්තා සීත කාලයේ මේ විදියට කොළ රොඩු පුච්චමින් ගිනි මැල ගැසීම සිරිතක් කොට ගනියි. ඒ සීත සමයේ අත්තාගේ ගිනි මැලය අසල ගිනි තැපීමද මගේ සිරිතකි.

දෙසැම්බරයේ අග බොහෝ දිනවල මම පාසැල් ගියේ නැත. අම්මාගෙන් කෙසේ හෝ වැඩි බැණුමක් නොඅසා බේරීමට මම ඉතා දක්ෂ වූවා පමණක් නොව අම්මාගෙන් බේරීම සඳහා අත්තාගේ ලොකු සහයෝගයක්ද මට ලැබෙයි. “අනේ ලොකු දුවේ ඒකි කැමති දේනේ. ඔන්න ඔහේ නිදහසේ ඉන්න දීපං. මේ කෙල්ල කැමති දෙයක් කැමති විදියට ඉගෙන ගන්නේ නැතෑ.” අත්තාගේ නොවෙනස් අදහස් හමුවේ පහුබහින අම්මා අත්තාටත් මොන මොනවදෝ කියමින් හෙමින් මුමුණමින් ආපසු යන්නට යයි.

මම අත්තාගේ ගිනි මැළය තව තව අවුළවන්නට සහය වෙයි. වියළි කොළ අතුගාමින් එකතු කරන හැටිත් ඒවා පරිස්සමට ගිනි මැළයට කිට්ටු කරන හැටිත් අත්තා මට කියා දෙයි. වේයෝ කූඹියෝ ඉන්න කොළ වෙන් කරමින් ඒවා දිගු ලීයක ආධාරයෙන් ගසා දමා ඉවත් කරන හැටිත් හැම විටෙකම සතුන්ගේ පණ බේරා දෙන්නේ කෙසේද කියාත් ඔහු මට කියා දෙයි. ඒ අතර අත්තාගේ මුවින් සිහින් කවියක රාවයකුත් මගේ කණට ඇසෙයි.

ගින්න වැඩිවේගෙන එනවිට අපි දෙදෙනාම හරි හරියට දිව ගොස් ඔයෙන් වතුර බාල්දි පුරවාගෙන ඇවිත් ගිනි මැළයට දමා ගිනිමැළය නිවයි.

නැතිනම් වැවුණු ගස් කොළං දිහාවට ගින්දර විසිරෙන බවක් දුටු සැනින් “පුතේ අන්න අතනට වතුර පනිට්ටුවක් ගෙනැත් වක්කොරපං ” කියා කෑගසයි. එවැනි දවසක මම බියට පත් වෙයි. ගිනි මැළය මුළු වත්ත පුරා ගස් අතරේ පැතිරී යමින් අපේ ගේ දිහාවට ඇදී එනහැටි මගේ හිතේ මැවෙයි.ගස් කොළං ගේ දොර සතා සිව්පාවා ඇතුලු අපි සියලු දෙනා ගිනි ගෙන දැවෙතැයි එවිට මට සිතෙයි. එවැනි දිනෙක මම වතුර බාල්දි එකින් එක ගෙනැවිත් දමා ගිනි මැළය නිවන්නේ හති දමමින්.

සීත සමයට පමණක් දැවෙන මේ ගිනි මැළය පසු කළෙක මගෙත් අත්තාගෙත් ජීවිතේ යම් සබැඳියාවක් ඇති කිරීමට සමත් වුණා.

විවිධ වර්ගයේ ගස් කොළං රාශියක් වත්තේ වවා තිබූ අතර ආර්ථික ප්‍රතිලාභ සඳහාද අත්තා ඇතැම් ගස් කොළං වවා තිබුණා. එයින් බුලත් වැල් සහ ගම්මිරිස් වගාව සරුවටම තිබූ අතර විවිධ අල වර්ග බොහොමයක් වත්තේ තැනින් තැන වගා කොට තිබුණා.

ඒ වගාවන් ගැන අත්තා බොහෝ දේ කියා දුන් අතර විවිධ අල වර්ග වල නම් ඒවායේ ගුණ   පිළිබඳව වාගේම ඒවා වගා කරන ක්‍රම පිළිබඳවත් අත්තා වරින් වර මට කියා දුන්නා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාරව සිටි කෘෂිකර්ම උපදේශකවරයා වූ මගේ තාත්තා සති අන්තයේ ගෙදර ආ විට මට අත්තා කියා දුන් ඒ සියල්ල තාත්තාට කියන්නට පුරුදුව සිටියා.

තාත්තා උගත් අලුත් කෘෂි ක්‍රමෝපායන් වලට වඩා අත්තා සවිස්තරාත්මකව කියා දුන් බොහෝ දේ වඩාත් සාරවත් බවයි මට දැනුණේ. ඒ නිසාම වෙන්නට ඇති අත්තාගෙන් කෘෂිකර්මාන්තය පිළිබඳ යම් යම් දේ අසා දැන ගැනීමට මගේ හිත තුළ ප්‍රියතාවක් ඇතිවන්නට ඇත්තේ.

කුඩා කළ සීත සමයේ අත්තාගේ ගිනිමැළය අසළ කල් ගෙවන්නට මා දැක්වු ඒ ප්‍රියතාවය පසුකලෙක මගේ ජීවිතය දෙස වෙනස් මානයකින් බලන්නටත් දකින්නටත් ක්‍රියා කරන්නටත් හේතු වූවා යැයි මට සිතේ. එයින් ජීවිතයේ මා උගත් දෑ බොහෝ යැයි අද මට දැනේ.

වසන්ති නානායක්කාර

2017/11/22

One thought on “පුංචි කාලේ මං……1

  1. අළුත් බ්ලොග් එකට සුබපැතුම්. අටම්පහිය සහ මාතලන්ගේ සින්ඩිය වගේ සින්ඩිකේටර් වලට එකතුවෙන්න එතකොට වැඩි පිරිසක් අතරට යන්න පුළුවන්

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.